Blog

ප්ලාස්ටික් වලින් තොර අනාගතයකට ප්ලාස්ටික් වලින් තොර අතීතයෙන් උපදෙසක්…

ප්ලාස්ටික් වලින් තොර අනාගතයකට ප්ලාස්ටික් වලින් තොර අතීතයෙන් උපදෙසක්…

අතීතයේ මිනිසුන් පරිසරය සමඟ බොහෝ සබඳතා පැවත් වූ, පරිසරය තුළින් පෝෂණය වූවන් වෙති. ඔවුන් පරිසරයට බොහෝ සේ ඇලුම් කළ අතර එයට කිසිදු හානියක් සිදු කිරීමට නොසිතූහ. “ප්ලාස්ටික්” යන වචනය මෙලොවට පැමිණීමට පෙර ජීවත් වූ එම මිනිසුන් තම ජීවිතය ගෙන ගියේ කෙසේදැයි ඔබ දන්නවාද?

ඔවුහු එදිනෙදා පරිභෝජනයට ගන්නා එළවළු, පළතුරු ආදිය නිවසේම වගා කළ අතර, එසේ නොමැති අවස්ථා වලදී කඩයෙන් මිලදී ගත්හ. එහිදී, එළවළු පළතුරු ආදිය ඇසුරුම් කිරීම සඳහා වේවැල් කූඩ යොදා ගත්හ. වියළි ආහාර අසුරන ලද්දේ කඩදාසි බෑග් වල වන අතර සහල් දැමීම සදහා කොට්ට උර භාවිතා කළ බව ද මා අසා තිබේ. එළකිරි වැනි බීම වර්ග ද, පොල්තෙල්, භූමිතෙල් ආදිය ද ඇසුරුම් කිරීමට වීදුරු බෝතල් භාවිතා කළ ඔවුහු එක්වරක් භාවිතා කළ පසු එම බෝතල් නැවත සෝදා භාවිතා කිරීමට පුරුදු වූහ. සාප්පු යාම සඳහා ඔවුන් බහුලව භාවිතා කළේ වේවැල් කූඩ,පන්මළු යන පරිසර හිතකර ද්‍රව්‍ය වලින් සෑදූ දේවල් ය.

එකළ මිනිසුන් ඔවුන්ට අවශ්‍ය බොහෝ දෑ ඔවුන් විසින්ම සාදා ගත්හ.ආහාර පමණක් නොව ඇඳුම් පැළඳුම් ද ඒ අතර වේ. වර්තමානයේ මෙන් සියලු ඇඳුම් මිලදී නොගත් ඔවුහු අමුද්‍රව්‍ය පමණක් මිලදී ගෙන ඇඳුම් නිවසේදී මසා පිළියෙල කරගත්හ. තම අවශ්‍යතාවයට පමණක් ඇඳුම් ප්‍රමාණයක් භාවිතා කළහ. බොහෝ සාමාජිකයන් සිටි පවුල් වල, තමන්ට පරිභෝජනය නොකළ හැකි දෑ තවකෙකුට ලබා දී සහයෝගයෙන් බෙදා ගනිමින් ඔවුහු තම දිවි ගෙවූහ. පිරිසිදු කිරීමේ නිෂ්පාදන වන සබන් අසුරා තිබුණේද කාඩ්බෝඩ් පෙට්ටි වල ය.

ආහාර පිසීමේ දී, දරලිප භාවිතා කළ අතර ඔවුන්ගේ මුළුතැන්ගෙය හැඩවූයේ මැටි භාජන වලිනි. ඒ අතර නැවුම් ලෙස ආහාර පිසීමට උපකාරී වූ මැටි වළං, මැටි කොරහ ද, සිසිල් ජලය පිරි මැටි කල ද දක්නට හැකි විය.
“ප්ලාස්ටික්” මෙලොව ආක්‍රමණය කිරීමට පෙර එකල ජනයා තම ජීවිතය සරලව ගෙවා ඇති ආකාරය ඔබට දැන් පැහැදිලි යැයි මම සිතමි. එසේනම්, ජීවත් වීම සඳහා අපට ප්ලාස්ටික් අවශ්‍ය නැති බව ඔබට වැටහේවි. අතීතයේ මෙන් නොව වර්තමානය දියුණු ය. නව සොයාගැනීම් වලින් සපිරි මෙවන් යුගයක ප්ලාස්ටික් වෙනුවට ආදේශක භාවිතා කිරීමට මිනිසාට නොහැකි ද? අතීතයේ ගොඩනැඟුණු වේවැල් කර්මාන්ත, මැටි කර්මාන්ත යනාදිය දියුණු කිරීම මඟින් අපට ඉතා වටිනා, පරිසර හිතකාමී භාණ්ඩ නිපදවිය නොහැකි ද?
අද වන විට, ප්ලාස්ටික් වලින් පරිසරයට සිදුවන හානිය වැළැක්වීම සඳහා දැනුවත් කරන, ඒ සඳහා ක්‍රියාමාර්ග ගන්නා බොහෝ කණ්ඩායම් දක්නට ලැබීම සතුටට කරුණකි. ZeroPlastic යනු එවන් වූ හරවත් වැඩ පිළිවෙලක් ඉදිරියට ගෙන යන සමූහයකි.

පරිසරයට ආදරය කරන්නන් ලෙස ඔබ, මා සතු වගකීමක් ඇත. ප්ලාස්ටික් වලින් තොර දේශයකට පිය නඟන්නට නම්, ප්ලාස්ටික් වලින් ඈත් වී සිටීමට අපි අද සිටම උත්සාහ කරමු. ඔබ යමක් මිලදී ගන්නා විට සරල මිනිසෙකු ලෙස සිතා, එය අත්‍යවශ්‍ය දෙයක් නම් පමණක් මිලදී ගන්න. එවන් වූ මිලදී ගැනීමකදී, එය ප්ලාස්ටික් වලින් තොර බවට තහවුරු කරගන්න. ආදේශක මිලදී ගන්නට පුරුදු වන්න. ප්ලාස්ටික් වලින් තොර අනාගතයකට, ප්ලාස්ටික් වලින් තොර අතීතයෙන් අපට ගත හැකි වටිනා ආදර්ශය එයයි.

සෙව්වන්දි කරුණාරත්න
ව්‍යවහාරික විද්‍යා පීඨය
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය

More projects

Artisan

Warna creations පසුබිම් කතාව

වෛරස හෑම මීටරයේ < දුර > තියලා ඇතැමෙක් නොදුටු පැති හරිහැටි හරවාලා කර්මයෙ පුවත ටොකු ලෙස ඉඟි කරවාලා සත්‍යයකි, නැතිය පණ තරමට මිණි මාලා ආදර සොබා මව් වෙත සිත් අද…

2 min read

Blog

Say no to plastic with pottery industry

Earth deserves more. Since the day humans began to dominate the world, they have forgotten all the responsibilities fell upon themselves. Since then, much …

1 min read

Artisan

අතරමග නැවතුන රැකියාව නිසා ඉස්මතු වූ ඔහුගේ හැකියාව

කොවිඩ් තත්වය හේතුවෙන් අද ලංකාව පමනක් නොව මුලු ලෝකයම දැඩි පීඩාකාරී තත්වයකට මුහුන දෙන අවස්තාවක එම කඩා වැටීම් බිද වැටීම් ශක්තියක් කරගෙන තම රැකියාවද නතර වූවත් …

1 min read