Artisan

උණ ලීයෙන් අලුත් වැඩක්

උණ ලීයෙන් අලුත් වැඩක්

සැබැවින්ම වර්තමානය තුළ ප්ලාස්ටික් උග්‍ර පාරිසරික ගැටලුවක් වී හමාරය. අප විසින් විනාඩි කිහිපයක් භාවිත කර ඉවත දමන ෂොපින් බෑගයක සිට, මුළුතැන්ගෙයි උපකරණ, විසිතුරු භාණ්ඩ, ගෘහ භාණ්ඩ, ගොඩනැඟිලි උපාංග ආදී මෙකී නොකී බොහෝමයක් දෑ ප්ලාස්ටික් භාවිත නිමැවුම්ය. ප්ලාස්ටික් මිනිස් ජන ජීවිතය හා මෙතරම් සමීප වූයේ කෙසේද? භාවිතයේ පහසුව, කල්පැවැත්ම, අඩු පිරිවැය ඊට හේතුවීද? ඒ කෙසේ හෝ වේවා නිසි කළමණාකරණයකින් තොරව පරිසරයට මුදා හැරෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය අද වන විට ගහ කොළට ද, සතා සීපාවන්ට ද, ස්වභාවික ජල මූලාශ්‍ර වලටද, විශාල තර්ජනයක්ව ඇත. මීට නිසි විසඳුම් සැපයිය යුත්තේ ද, මිනිසුන් වන අප විසින්මය. එය එසේ නොවුණහොත් ප්‍රතිවිපාක බොහෝ දරුණු වනු නොඅනුමානය.

ඉතින්, අප එදිනෙදා භාවිතා කරන භාණ්ඩ හුදෙක් පරිභෝජනය සඳහා සුදුසු ද? සෞඛ්‍යාරක්ෂිත ද? බොහෝ විට ආහාර ඇසුරුම්කරණයට භාවිත වන ප්ලාස්ටික් නිෂ්පාදන පරිභෝජනය අවම කරන්නේ කෙසේද? ජලාස්ටික් වෙනුවට යොදා ගත හැකි ආදේශක නොමැතිද? ස්වභාවික, පාරිසරික හිතකාමි අමුද්‍රව්‍ය මොනවාද? ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ, තාක්‍ෂණ පීඨයේ, ඉංජිනේරු අංශයේ අචින්ත විජේනායක හා තාක්‍ෂණ පීඨයේ, ජෛව පද්ධති තාක්ෂණ අංශයේ සසිකලා මධුවන්ති යන සොයුරු සොයුරියන් දෙපළටත් කොවිඩි වසංගතය හමුවේ සියල්ල මදකට නැවතෙද්දී, විශ්ව විද්‍යාල කටයුතු වලින් මද විවේකයක් ලැබෙද්දී මෙම ප්‍රශ්න සඳහා මනා පිළිතුරක් ලැබී තිබුණා. ඒ උණ ශාකයයි.

කෙටි කාලයක් තිස්සේ ඔවුන් විසින් සංචාරක ක්ෂේත්‍රය මූලික කරගනිමින් මාතලේ ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලැබූ උණ ලී නිෂ්පාදනයන්ට කොවිඩි වසංගතය නිසා අයහපත් කාලයක් උදාවෙනවා. තම ව්‍යාපාරයට නව මුහුණුවරක් දී එය පුළුල් කිරීමට ඔවුන් අත්පොත් තබන්නේ ඒ අනුවයි. තමන් විශ්ව විද්‍යාලය තුළ උගත් දෑ ප්‍රයෝජනයට ගනිමින් ආහාර ඇසුරුම්කරණයට ස්වභාවික, සෞඛ්‍යාරක්‍ෂිත, අත්කම් නිෂ්පාදන උණ ලී භාවිතයෙන්  නිපදවන්නේ කෙසේද යන්න පරීක්ෂණ සිදු කරන මොවුන් අද වන විට එය සාර්ථක කර ගනිමින් සිටිනවා. ඉදින් අහිතකර රසායනික ද්‍රව්‍ය භාවිත නොකර, කල් පවතින පරිදි, අලංකාරව නිපදවු උණ ලී නිමැවුම් රාශියක් අද වන විට ඔවුන් සතුයි. කෝප්ප, හැදි, පිහි ආදී මුළුතැන්ගේ උපකරණ වල සිට පැන්සල් පෑන් රදවන, විසිතුරු මල් පෝච්චි, මේස ලාම්පු ආදී විසිතුරු භාණ්ඩ ද, විලාසිතා භාණ්ඩද, ආදී නිශ්පාදන 35 ක් පමණ ඒ අතර වනවා. සාම්ප්‍රදායික හා සමකාලීන මෝස්තර වලින් අලංකාර කරමින් පාරිභෝගික  අපේක්ෂාවන්ට ගැලපෙන පරිදි භාණ්ඩ නිපදවීමට ඔවුන්ට ඇත්තේ සහජ හැකියාවක්.

නවමු අදහස් වලට ජීවය දෙමින් ලොව දිණීමට වෙර දරන මොවුන් සැබැවින් ම සුවිශේෂී ය. ජීවය පරිසරයට, හුස්ම දෙන සොබා දහමට ආදරය කරන තාරුණ්‍ය හෙට දවසේ සුභවාදී බලාපොරොත්තුවයි. ඉදින් සාර්ථකත්වයේ ජයටැඹ කරා පියවර තබන්නට zero plastic අපෙන් ඔවුන්ට මෙසේ සුභපැතුම් එක්කරන්නෙමු.

එරන්දි ඒකනායක
විද්‍යා පීඨය
පේරාදෙණිය විශ්ව විද්‍යාලය

More projects

Artisan

Chakra bags පසුබිම් කතාව

හැකියාවට ඉඩක්-පරිසරයට හෙටක්… මිහිමත වෙසෙන සතුන් අතරින් උසස්ම මනසක් හිමි සත්වයා ලෙස මිනිසා නම් දරා සිටි. මනස වනාහි හොදින් සිතා බලන්නට, දුරදිග බලන්නට සරලවම ප…

1 min read

Artisan

Craft world පසුබිම් කතාව

එදිනෙදා ජීවිතයේදී අප විසින් නිරන්තරයෙන් ප්රයෝජනයට ගැනෙන පුවත්පත් කඩදාසි යොදා ගනිමින් අගනා නිර්මාණයන් රැසක් බිහි කිරීමට හැකි බව ඔබ දන්නවාද? Craft world යනු …

2 min read