වර්තමානයේ පැන නැගී ඇති බරපතල ප්‍රශ්නයක් වන ප්ලාස්ටික් හා පොලිතීන් වැනි නොදිරන ද්‍රව්‍ය අර්බුදය ට විසදුම් සෙවීම අප සැම ගේ යුතුකමකි. වසරෙන් වසර අප මුහුණ දෙන්නා වූ මෙවැනි ගංවතුර තත්වයන්, ස්වභාවධර්මයා විසින් මිනිස් ක්‍රියාකරකම් වලට නිහඩව ම ලබා දෙන ප්‍රතිචාර ලෙසද අපට මෙම යුතුකම් මතක් කර දෙයි. අධික වැසි ස්වාභාවික වුවද, අප විසින් භාවිත කරන නොදිරන ද්‍රව්‍ය ජල මාර්ග අවහිර කිරීමෙන් ගංවතුරේ බලපෑම තවත් දැඩි කරයි. එවන් පසුබිමක, ස්වභාවයෙන්ම දිරන දේශීය විසඳුම් වෙත හැරීම අද තේරීමක් නොව, අවශ්‍යතාවයක් බවට පත්ව ඇත. එවන් විසඳුමක් ලෙස හණ කෙඳි වැනි දේශීය හා ස්වාභාවික නිෂ්පාදන ලෝකයට ම පෙන්වා දිය හැක.
කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල ප්‍රදේශයේ අලුත්හෙගම ගම්මානයෙන් අපට හමුවෙන්නේ, හණ කෙඳි ආශ්රිත නිර්මාණ මඟින් පරිසරයට හිතකාමී අනාගතයක් ගොඩනගන්නා කුඩා ව්‍යාපාරිකාවක් වන සංජිවනි දිසානායක මහත්මියයි. ඇය නිර්මාණය කරන බෑග්, පසුම්බි, පාපිසි, මේස දරණු, වතුර බෝතල් ආවරණ, ආභරණ සහ විශේෂයෙන්ම හණ කෙඳි තොප්පි, අද දේශීය වෙළඳපොළ සීමාවෙන් ඔබ්බට ගොස් විදේශ රටවලද ඉහළ ඉල්ලුමක් දිනාගෙන ඇත.
හණ කෙඳි නිෂ්පාදනවල විශේෂත්වය වන්නේ, ඒවා සම්පූර්ණයෙන්ම දිරන, ශරීරයට අහිතකර නොවන, ස්වභාවයෙන්ම සුවපහසු නිෂ්පාදන වීමයි. විශේෂයෙන්ම හණ කෙඳි තොප්පි, උෂ්ණ කාලගුණය සහිත රටවල ජනප්‍රිය වන්නේ, ඒවා පැළඳීමෙන් ශරීරයට සිසිලසක් දැනීම සහ අසාත්මිකතා ඇති නොවීම නිසාය. එම නිසා ඔමාන් වැනි අරාබි රටවල් ඇතුළු විදේශ වෙළඳපොළේ මෙම නිෂ්පාදන විශාල ලෙස පිළිගැනීමට ලක්වී තිබේ.
මෙය තනි පුද්ගල ව්‍යාපාරයක් පමණක් නොව, ගම්මානයක් සමඟ බැඳුණු කතාවක් ද වේ. සංජිවනි මහත්මිය සඳහන් කරන පරිදි, අලුත්හෙගම ගම්මානයේ සමස්ත වශයෙන් තුනෙන් දෙකකට වැඩි පිරිසක් මෙම කර්මාන්තයට සම්බන්ධය. මෙම හණ කෙඳි කර්මාන්තය ගම්මානයට පැමිණ ඇත්තේ 1971 වසරේදී වන අතර, වසර 54කට අධික කාලයක් පුරා පරම්පරාවෙන් පරම්පරාවට රැකගෙන ආ දේශීය උරුමයකි.
කෙසේ වෙතත්, මෙම කර්මාන්තය මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය වන්නේ හණ අමුද්‍රව්‍ය හිඟයයි. වසර ගණනාවක් පුරා නැවත වගා නොවී භාවිතයට ගත් හණ ශාක නිසා, අද එක් කිලෝග්‍රෑමයක් සඳහා ඉහළ මිලක් ගෙවීමට සිදුවී ඇත. ගල් පර්වත සහිත බතලේගල, දේවනගල, කීර්තිගල වැනි ප්‍රදේශවල මෙම ශාක ස්වභාවිකව වර්ධනය වුවද, තිරසාර වගා ක්‍රමයක් නොමැති වීම කර්මාන්තයේ අනාගතයට අභියෝගයක් වී ඇත.
එහෙත්, හණ කෙඳි නිෂ්පාදනය ආරම්භ කිරීම සඳහා විශේෂ යන්ත්‍ර අවශ්‍ය නොවේ. සරල කතුරක් වැනි උපකරණවලින් පමණක් ගෙදර සිටම මෙම කුසලතාව ඉගෙන ගත හැක. කෙසේ වෙතත්, කෙඳි උපුටා ගැනීම හා වියන ක්‍රියාවලිය සඳහා යන්ත්‍රෝපකරණ තිබේ නම්, කාලය හා ශක්තිය ඉතිරි කරගනිමින් නිෂ්පාදනය වැඩි කරගත හැකි බවත් ඇය පෙන්වා දෙයි.
මේ සියල්ල අතරතුර, සංජිවනි මහත්මියගේ ව්‍යාපාරය සමාජ සේවයක් ලෙස ද ක්‍රියාත්මක වේ. ඇය මෙම කුසලතාව අන් අයට උගන්වමින්, විශේෂයෙන්ම ගම්මානවල රැකියා විරහිත කාන්තාවන්ට ගෙදර සිටම ආදායම් මාර්ගයක් නිර්මාණය කර දීමට කටයුතු කරයි.
“යෞවන පරපුර මේ වගේ දේශීය කර්මාන්තවල වටිනාකම තේරුම් ගත්තොත්, මේක කුඩා ආදායමකට සීමා වෙන දෙයක් නෙවෙයි. ඉහළ මට්ටමේ ව්‍යාපාරයක් බවට පත් කරගන්න පුළුවන්,” යන්න ඇයගේ ප්‍රධාන පණිවිඩයයි. දේශීය වෙළඳපොළේ තවමත් සීමිත වුවද, විදේශ වෙළඳපොළ තුළ ඇති විශාල ඉඩකඩ, යෞවන පරපුරට නව මගකට පිවිසීමට ආරාධනාවකි.
අතීතයෙන් උරුම වූ දේශීය කුසලතාවක්, වර්ථමානයේ පාරිසරික ගැටළු විසඳන නවීන විසඳුමක් බවට පත් කරමින්, හෙට දිනය වෙනුවෙන් සවියක් වන මෙවැනි වෑයම් දිනෙන් දින ශක්තිමත් වේවා යන්න ZeroPlastic සංවිධානය ලෙස අපගේ අවංක පැතුමයි

