ස්වශක්තියෙන් නිකැලැල් පරිසරයක් කරා….ස්වශක්ති වේවැල් නිෂ්පාදකයෝ

ප්ලාස්ටික් හා පොලිතින් වලින් තොර නිකැලැල් පරිසරයක් උදෙසා ජාතියක් අවදි කරන්නට වෙර දරන අපේ zero plastic ක්‍රියාන්විතයේ එකී ගමනට ශක්තියක් වන දිරිය මිනිසුන් සොයා යන ගමනේ මෙවර අප හා එක්වන්නේ පොලොන්නරුව මනම්පිටියේ ඩබ්. එච්. උපාලි මහතායි.

පරම්පරාවෙන් උරුම වූ දැනුම හා අත්කම් කුසලතා නැණවත්ව හසුරුවමින් එතුමා අද මනම්පිටියේ ‘ස්වශක්ති’ නමින් තමාගේම වේවැල් ආශ්‍රිත නිෂ්පාදන ව්‍යාපාරක් පවත්වාගෙන යයි. පන් ආශ්‍රයෙන් නිර්මාණය කරන පුටු, මේස , විසිතුරු භාණ්ඩ ඇතුලු අගය එකතු කල නිර්මාණ ගනණාවක් එතුමාගෙ දෑතින් නිමවී වෙලඳපොලට නිකුත් වෙන්නේ ප්ලාස්ටික් හෝ පොලිතින් බිඳක් හෝ පරිසරයට මුදා නොහරිමිනි.

සාම්ප්‍රදායික වේවැල් නිශ්පාදකයෙකු නොවී තම නිර්මාණ වලට අගයක් එක් කරගනිමින් තම එදිනෙදා දිවිය අපහසුවකින් තොරව ගත කිරීමට තරම් ආදායමක් උපයා ගැනීමට එතුමා සමත් වී ඇත්තේ සාම්ප්‍රදායික නිර්මාණකරුවන් සියලු දෙනාටම මහත් ආදර්ශයක් ගෙන දෙමිනි.

නමුත් මේ කර්මාන්තය හා සබැඳි තවත් බොහෝ ගැටලු පවතී.

ප්‍රධානතම ගැටලුව වන්නේ මේ වේවැල් භාණ්ඩ වල මිල, තරඟකාරී ප්ලාස්ටික් ආදේශක වලට වඩා තරමක් අධික වීමයි. ඒ නිසාම සාමාන්‍ය ජනතාව බොහෝ විට මිල අඩු ප්ලාස්ටික් භාණ්ඩ වලට යොමුවීමෙ ප්‍රවණතාවක් ඇති බව උපාලි මහතා අපට පෙන්වා දුන්නේය.

අනික් ගැටලුව නම් අමුද්‍රව්‍ය සපයා ගැනීමයි. උපාලි මහතා තම ව්‍යාපාරය සඳහා අමුද්‍රව්‍ය සපයා ගන්නේ අවට පරිසරයෙන්මය. ව්‍යාපාරය වෙනුවෙන් වෙනම වගා කිරීමක් කිරීමට තරම් හැකියාවක් හෝ බිම් කඩක් හෝ ශ්‍රම සැපයුමක් එතුමාට මෙන්ම මේ කර්මාන්තයේ නියැලෙන බොහෝ දෙනෙකුට නොමැත. ඒ නිසාම අවට පරිසරයෙන් හා රක්ශිත වනාන්තර ආශ්‍රිතව පන් නෙලීමේදී පාරිසරික හා නීතිමය ගැටලු රාශියමට මුහුණ දීමට ඔවුනට සිදුවේ.

තවද කර්මාන්තය ආරම්භ කිරීමට හෝ වැඩිදියුණු කරගැනීමට මූල්‍යමය ආධාර ලබා ගැනීමේදී , විශේශයෙන් බැකු ණය ලබා ගැනීමේදි ද යම් යම් ගැටලු වලට මුහුණ දීමට වේවැල් කර්මාන්ත කරුවන්ට සිදුවේ.

උපාලි මහතා ජීවත් වන මනම්පිටිය ප්‍රදේශය එතරම් විදේශිකයන් පැමිණෙන පලාතක් නොවන නිසා එතුමාගෙ ව්‍යාපාරය වැඩි වශයෙන් රඳා පවතින්නේ දේශීය පාරිභෝගිකයන් මත වීමද විශේෂත්වයකි. නමුත් එතුමා සඳහන් කල පරිදි තම නිර්මාණ විදේශිකයන්ට අලෙවි කිරීමට අවස්ථා ගණනාවක් ලැබුනිද සමහර නිලධාරීන් ඉතා අධූරදර්ශී ලෙස අතරමැදියන් ලෙස ක්‍රියා කිරීමට යාම නිසා සාම්ප්‍රදායික වේවැල් නිර්මාණකරුවන්ට බලවත් අසාධාරණයක් සිදු වේ.

කෙසේ වෙතත් උපාලි මහතා හා මේ කර්මාන්තයේ නියුතු අනික් නිර්මාණකරුවන් මේ සියලු අභියෝග මැද නොසැලී තම කර්මාන්තය දිවිහිමියෙන් පවත්වාගෙන යයි. ඔවුන්ගේ ඒකායන අභිප්‍රාය හා ප්‍රාර්ථනය වන්නේ මේ මිල කල නොහැකි කර්මාන්තයට යහපත් හෙට දිනක් උදා කරගැනීම මෙන්ම ප්ලාස්ටික් හා පොලිතින් වලින් තොර පිරිසිදු නිකැලැල් පරිසරයක් බිහි කර ගැනීමයි. එය ජීවනෝපාය සරි කර ගැනීමක්ම නොව, මතු අනාගතයේ ඉපදීමට සිටින මිලියන ගණනින් වන බිලිඳුන්ට මේ මිහිමව නොකිලිටිව භාර දීමට කරන් නිහඬ මෙහෙවරකි.

අවසාන වශයෙන්, උපාලි මහතා ප්‍රමුඛ වේවැල් කර්මාන්තයේ නියුතු සියලු ශිල්පීන්ට සෞභාග්‍යය සපිරි අනාගතයක් zero plastic අපි ප්‍රාර්ථනා කරමු.

විශේශ ස්තූතිය – ඩඩ්. එච්. උපාලි,

ස්වශක්ති වේවැල් භාණ්ඩ නිශ්පාශකයෝ,

මනම්පිටිය,

පොලොන්නරුව.

දු.ක.0718979953